Monday, March 10, 2025

ලන්තෑරුම් (කෙටි කතාව)




අනිච්චාවත සංඛාරා
උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
තේසං වුප සමෝසුඛෝ

අර්ධ ශතකයකට ආසන්න කාලයක් එලෙස ගෙවී ගියද ගෙවී යන මේ මොහොත පිළිබඳව ඈ තුළ පිහිටියේ එක්තරා රික්තක හැඟීමකි.කෙතරම් තමා තමා විසින්ම නිසරණය කිරීමට තැනුවද ඇගේ යටි සිත සියළුම වේදනාවන් ඈ කෙරෙහි යළි යළිත් පැලපදියම් කිරීමෙහි නියුක්තව සිටියේය.

"නැවේදි කවුරුත් බැලුවෙ නෑලු.දවස් දහයකට වඩා උණ අරගෙනලු තිබ්බේ"

"අපරාදෙ ජිවිතේ.අකාලේ මැරිලා ගියා"

වටපිටාවෙන් ඇසෙන කතා කිසිවක් ඈට වැදගත් වූයේ නැත.සියළුම සාංසාරික බැඳීම් කෙරෙහි ඈ තව තවත් ඇලී ගැලී සිටියේය.

පවුලේ උදවිය අත පැන් වඩන'යුරු ඈ පසෙකට වී බලා සිටින්නට විය.ඈ තම යටි තොල සපාගනිමින් ඇස් කෙවෙනි අග රූරා වැටෙන්නට තිබූ කඳුළු බිඳුව ආයාසයෙන් බිඳ ගත්තාය.තමාගේ උරහිස වටා සවිමත් අතක් වෙලී යනු ඈට සිහිනයෙන් මෙන් දැනුණි.

"ඉන්න අමාරු නම් කියපන් නිසංකා.අපි මෙතනින් යමු"

ලයාන්විත පිරිමි කටහඬක් ඈට පැවසුවාය.

"මට ඉන්න පුලුවන් ශ්‍රීමාල්.මිනිස්සු ප්‍රශ්නවලින් පැනල යන්න ගියාම වෙන්නේ ටික කාලෙකට ඒවා නැවතිලා තිබිලා කලින්ටත් වඩා වැඩිවෙලා ආයි ආපිට පැටවෙන එක"

රැස්ව සිටි මහා ජන ගඟ මධ්‍යයේ තමාගේ එකම හිතවතා වූයේ අඩි සයක් පමණවු දෙනෙහි වැතිර සිටි ප්‍රාණය නිරුද්ධ දේහය පමණි.වසර පහක ප්‍රේම ආවර්ජනාවන් සියල්ල මතකයකට පමණක් කොටු කරලීමට සිදුවීම කෙතරම් නපේක්ෂිත ද යන්න ඈ හට වැටහිණි.

දෙදිනකට පමණ පෙර එම ආරංචිය කන වැකුණු ක්ෂණයෙහි තමාගේ හදවත කැළඹවූ හැඟීම ඒ අයුරින්ම ඈ කෙරෙහි නොමැත.සියල්ලන්ගෙන් වෙන්ම සචේතනික වූත් හුදකලා වූත් ජීවිතයක් කත කළ ඇයට සිටි එකම අස්වැසිල්ල මිහිතලය මධ්‍යයේ මිහිදන් වීමට සූදානම්ය.

එදා තමාගේ සිත විසිරවූ සුවඳ තවමත් දෙන අසලින් හමයි.අනෙකෙකුට ඉන් පිටවන්නේ නාස් පුඩු උගුලුවා දැමීමට තරම් ප්‍රභල ෆෝමලින් ගන්ධයක් වුවත් ඈ තවමත් පැරණි සුගන්ධමය සාරයන්ගේ ආවර්ජනාවෙන් ජීවය ලබමින් සිටියාය.

"මිනිය උස්සන්නයි යන්නේ"

දෙන කරපිටට ගැනිණ.

"උඹට ඕනෙම නම් මෙතනින් යන්න තව වෙලා තියෙනවා"

ශ්‍රීමාල්ගේ කටහඬ නැවතත් ඈට ඇසෙන්නට විය.

මුවින් කිසිවක් පිට නොවූවද ඇගේ සිත තවමත් මෙතැනින් පිටනොවන ලෙස දිගින් දිගටම අයදිමින් සිටියේය.

"මම මැරුණොත් මොකෝ කරන්නේ"

"මමත් ඒ වලටම පැනලා පස් දාගන්නවා"

එදා සිනාමුසු වදන් දෙපලූ මුව අද සීල් තැබූ දෙනක් තුළ සදහටම වැසීගොස් අවසන් ය.මුවින් කෙතරම් පෙම් බස් දෙඩවූවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට යාම කෙරෙහි වැටී තිබූයේ බරපතල ප්‍රශ්නාර්ථයකි.

ඉර අවරට යමින් පැවතියේය.වැහි බර පරිසරය ආරූඪ කරගෙන තිබූයේ මහත් වූ වේදනාත්මක වූත් මූසල වූත් සාරයකි.වටාපිටාව නිල් සහ අළු මිශ්‍ර සිත්තමක් බවත් තමන් ඒ තුළ ගිලී සිටිනා බවත් ඇයට හඟෙන්නට විය.

"පවුලේ උදවිය වල වටේ හත් පාරක් යන්න"

බොල් හඬක් නගමින් වල තුලට පස් පිඬලි වැටෙන්නට වූයේය.

"එයා තාමත් හුස්ම ගන්නවා නම්"
"දොස්තරලා බැලුවෙ නැත්නම් එයා තාම මැරිලා නොවෙන්නත් පුලුවන්"
"එයා කිව්වනෙ මැරෙන්නෙ නෑ කියලා"

ඈ කෙරෙහි පිටතින් පමණක් දකින්නාවූ අයෙකුට මූඪ ,ගොළු හැඟීම් විරහිත දෑසකින් බලා සිටින්නාවූ යොවුන් කෙල්ලක් දැකිය හැකි වුවද ඇගේ ඇතුළාන්තය වූයේ උමතුවීමට ආසන්නව සිටි වේදනාවෙන් මිරිකී සිටි වැන්දඹු ස්ත්‍රියකි.

"නිසංකා අපි යමු.හැමෝම ගිහින්"

ශ්‍රීමාල් ඇගේ අතකින් අල්වා ඈ කැඳවාගෙන යන්නට වෑයම් කළේය.

"ඔයාගෙ දුක මට තේරෙනවා.ඒත් මියුරුට ආයිත් එන්න බෑ"

ඇගේ වෙර සිඳිනි.මෙතෙක් වෙලා සිරකරගෙන සිටි කඳුළු කැටිති ඉමක් කොනක් නොමැතිව රූරා වැටෙන්නට විය.සුසානයේ භූමි ගර්භය ඇගේ කඳුලෙහි බර දරමින් සිටියේය.

සොහොන මත දල්වා තිබූ සුදු පැහැති ඉටිපන්දම දියවී යන තෙක් ඈ හැඬුවාය.

සුසානයේ සිටවූ අරලිය,මල් ගවසා පරවී වැටෙන තෙක් ඈ කඳුළු සලාවි.

ඈත දිනයක තම හදවත පුරවාලූ සුවඳත් සොරා මළහිරු බැස යද්දී ඈ එම සුවඳ තමා වෙතම නැවත ඇදගන්නට කළ වෑයම දැන සිටියේ ඈ පමණි.

නිරාමිස සංසාරයක,
දහසක් පැතුම්,
සුනුවිසුණු වී විසිරෙද්දී,
සංසාරගත සංධ්වනියක,
සොඳුරු වූ ස්ථායි කොටස,
නුඹම විය,
භවයෙන් භවය ගැයෙන...


නිමි.



No comments:

Post a Comment

(වස් වදින) පෙම් කවි

වස්සාන වැසි වසින කලෙක අපි හමුවුන පපු කුහර තුළ බරට පෙමක් නුඹ සිරකළ දෙතොලතර රැඳුණු මුදු රතු හාදු වියලුන අකල් වැහි දියට කඳුළු බිඳු සෙමින් මුසුව...