මතකද එදා වැහි ජාමේ රෑ හතට
අව පෑලවිය පෑල දොරින් යන්න හදන දිනයෙක
කඩමණ්ඩියට එහා වැට නැති පාලම උඩ හිඳ
මගේ අතේ රැන්දූ
කහ පාට උඩ වැඩියා මල
වැහි ජාමේ හොස්ස දික්කරගෙන
නිරිත දිග මෝසම හොයන් එන විට
ගෙදර තිබ්බ කනකරත් අරන්
ඔබ එක්ක ගිය
ඔබේ කහ පාට උඩවැඩියා මල
අප්‍රේල් බක්මහ අකුණට වඩා සැරට
බඩේ ගින්නට පොඩි දෝණි අඬනකොට
හාල් සේරුවකට
රුපියල් එකසිය දහයක් ඉල්ලූ පවට
ආවා නම් ලුනුයි බතුයි හරි කවාපිය
කියා තැලුවා නුඹේ
කහ පාට උඩවැඩියා මලට
ජූලි හත ලං වෙනකොට
ජූලි හතක් උනානෙ මට
ආපු නුඹේ ලෙය මගේ බඩ ට
කන්න දෙන්න බෑ ඔච්චරකට
හෝදලා දාපිය ඕක
කිව්ව මතකයි නුඹ
එදා නුඹේ කහපාට උඩවැඩියා මලට
වසර හතරකට පෙර
නානුඔය ඉස්ටේසම ළඟ
සිල්බර කොටයක් උඩ හිඳ
කොපුළ ඉඹ
කිව්වා මතකයි නුඹ
මගේ කහපාට උඩවැඩියා මල
ඉල් මාසෙ ආයේ
නිරිත දිග මෝසමේ වැහි වතුරට
හේදිලා යන්නත් උනේ නෑ කඳුළ
නුඹ සිඹගත් තැනම කොපුල
සිල්පර කොට අතර
වැටී තිබුණා පෙර දිනක
නුඹේ කියූ නුඹේ කහපාට උඩවැඩියා මල
විහඟි කුලතුංග
No comments:
Post a Comment