වස්සාන වැසි වසින කලෙක අපි හමුවුන
පපු කුහර තුළ බරට පෙමක් නුඹ සිරකළ
දෙතොලතර රැඳුණු මුදු රතු හාදු වියලුන
අකල් වැහි දියට කඳුළු බිඳු සෙමින් මුසුවුණ
පිපුණු සපු මලක් මත නුඹෙ සුසුම් තියන්න
ගිලිහි ගිය මුදු වදන් එකතු කර දවන්න
නමුඳු සැම තැනම නුඹෙ සුවඳ මට තියන්න
සුවවෙනා මතක තව පෑරෙන්න හරින්න
සිනා කැන් පොදි පිටින් උඩු සුළඟ ගෙනගියා
මිමිණු පෙම්බස් අහුරු ගං දියට අහුවුණා
නුඹේ සිත මගෙන් දුර ඈතකට පැන ගියා
සිත් අහසෙ ඇඳුණු නුඹෙ රුව මැකී බොඳවුණා
නුඹ සිටින ලොවක් ගැන හීන නොම මැවෙන්න
නුඹේ සුවඳින් මතක ගොනු නොපිරවෙන්න
නුඹේ සුසුමන් වදින ඉමක් හමුනොවන්න
නුඹේ පෙම අසිපතක දවටා එයින් මා මරන්න
🖋විහඟි කුලතුංග
No comments:
Post a Comment